12/09/2025
කෙල්ලෙක්ට වෙනස් හීන තියෙන්න බැරිද?
ලොකු ගෙයක් වෙනුවට සුවදායක පොඩි ගෙයක්? ගේ වටේට ගස්? ලීයෙන් කරපු පඩිපෙළක් නරකද ගෙදරට ඇතුල් වෙන්න... වෙන මොනවත් නැතත් සාලෙට සනීප සෝෆාවක්.. කෝපි එකක් බොන්න වගේම,රෑකට උණුවෙන් කොත්තුවක් කන්නත්, සීතල හවසක උළුඳු වඩේ එක්ක තෝසේ කන්නත් පුළුවන් සෝෆාවක්?
තව අර පැද්දෙන පුටුවක්? හ්ම්ම්ම් ඒවට කියන හරි නම මම දන්නේ නැහැ. දැනට කියමු ඔංචිල්ලාවක් වගේ එකක්? ආස කෑම දාලා තියන්න ෆ්‍රිජ් එකක් සහිත කුස්සියක්? පොඩිම පොඩි කෑම මේසයක් ඇති නේද? ජීවිතේ ළඟම අය විතරනේ කුස්සියේ ඉඳන් කෑම කන්නේ. ඒ මේසේ උඩ මල් වාස් එකක්. ෆ්‍රෙශ් මල් දාපු, මල් වාස් එකක්!
සෙනසුරාදා උදේකට තේ බොද්දි කන්නයි, හවසට කිරි කෝපි එක්ක කන්නයි චොකලට් ගැටෝ එකක් හදාගන්න පුළුවන් තරමේ පොඩි අවන් එකක්, ෆෘට් ජුස් හදාගන්න පොඩි බ්ලෙන්ඩර් එකක්, කොත්තු මී හදාගන්නත් ගැළපෙන, සම්බෝලේට හරියන සුදු බත් උයාගන්නත් ගැළපෙන ගෑස් ලිපක්..... පුහ්.... සෑහෙන වියදමක්!
අළුත් සුවඳ එන ලීයෙන් හදපු පොඩි මේසයක්, ඔහේ පෙරළිලා ඉන්න පුළුවන් ඇඳක්, කඩචෝරු අත දිග ඇරලා ගන්න පුළුවන් විදිහේ පොඩි ස්ටූල් එකක් ඇඳ ළඟම තියාගන්න එකත් හරීම වැදගත්. කාමරේ මං ආස විදිහට පොත් රාක්ක නොවන රාක්ක ටිකක් ගහගන්න එක වැදගත්! අළුත්ම විදිහකට!!
හදවතේ පතුලෙම ඉන්න කිහිපදෙනාගේ පොඩි ෆොටෝ ටිකක් එල්ලන්නත් පුළුවන්. කණ්නාඩිමේසයක් තියෙනවනම් හොඳයි. ඒ නැතත් බාත් රූම් එකේ කණ්නාඩියක් තියෙයිනේ.
ලියන්න ගියාම මහ ගොඩක්. සල්ලි දීලා ගන්න ගියාම ඊටත් වඩා ගොඩක්! ඒත් කෙල්ලෙක්ට තියෙන්න බැරිද වෙනස් හීන? තමන්ගෙම ඉඩක, තමන්ට ළඟ අයට ඕන වෙලාවක් ඇවිල්ලා වැතිරෙන්න පුළුවන් ඉඩක් ගොඩ නගාගන්න හීනයක් කෙල්ලෙක්ට තියෙන්න බැරිද?
මුහුදු වෙරළ අපි කරපු සාකච්ඡා මගේ පුංචි සාලේ ඉදන් කරන්න පුළුවන් වෙන විදිහේ සාලයක්, පොත් ගැන තර්ක කරන්න ඉඩ තියෙන බිත්ති වලින් වට වෙච්ච තැනක්, දේශපාලනය, ඉතිහාසය වගේම ඊළඟට බලන ෆිල්ම් එක ගැන කතා කරන්න පුළුවන් පොඩි ගෙදරක්!!
තියෙන්න පුළුවන් අනේ. එහෙම හීන තියෙන්න පුළුවන් ❤
Shenu Perera