20/07/2023
☸️ වස් ආරාධනාව හා වැසි සලු පූජාව... ☸️
ඇසළ පොහෝ දිනය බෞද්ධ ජනතාවට සුවිශේෂී දිනයක් බව සියලුම බෞද්ධයන් දන්නා කාරණාවක්.මෙම කාරණා අතරින් විශේෂ කරුණක් වන්නේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ, ආර්‍ය මහා සංඝරත්නය වස් සමාදන් වන වස් කාලය මෙම පොහොය දිනයෙන් ආරම්භ වීමයි.මෙදින පෙර වස් සමාදන් වීම සඳහා බෞද්ධ ජනයා විසින් තම ගමේ පන්සලේ, ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටිනා ආර්‍ය මහා සංඝරත්නය උදෙසා මෙම වස් තුන්මසේ වස් සමාදන්වීම සඳහා වස් ආරාධනය කරණු ලබයි.මෙම ආරාධනය කරණු ලබන්නේ බොහෝවිට කඨින පින්කම සඳහා දායකත්වය දරණු ලබන පුද්ගලයා හෝ පිරිස විසිනි.මෙම වස් ආරාධනා කිරීම අතීතයේ බෞද්ධ ජනයා ඉතා ගෞරවයෙන් භක්තියෙන් සිදුකළ අතර එයටම ආවේණික පැරණි සිරිත් විරිත් රාශියක් ඇත.වර්තමානයේ ඒවා සමාජයෙන් ගිලිහී යන පසුබිමක මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ වස් ආරධනා කිරීම හා බැඳී පවතින සිරිත් හා වස් ආරධනය සිදු කරන නිවැරදි ආකාරය නැවත සමාජගත කිරීම හා වර්තමානයේ බෞද්ධයන් අතරින් වියැකෙමින් යන මේ බෞද්ධ සිරිත් විරිත් අනාගතය සඳහා රැක ගැනීමයි.
ආරාධනා දැහැත් වට්ටිය 🙏
සැදැහැවත් බෞද්ධ ජනතාව බෞද්ධ කටයුතුවලදී ඒ සඳහා ගෞරවනීය සංඝරත්නය උදෙසා ආරාධනා දැහැත් වට්ටියක් පූජා කර ආරාධනා කරනු ලබයි.වස් ආරාධනා පින්කමේදීද පහත ද්‍රව්‍ය යොදාගෙන දැහැත් වට්ටියක් පූජා කරනු ලබයි.
☸️ ආරාධනා දැහැත් වට්ටිය:
බුලත්,
පුවක්,
හුනු,
දුම්කොල,
කරඳමුංගු,
කරාබුනැටි,
සාදික්කා,
වසාවාසි,
ඉඟුරැපියලි,
කොත්තමල්ලි,
සූදුරු,
කුරුඳුපොතු
☸️ දැහැත් ගොටුව / වැසි ගොටුව / ආරාධනා ගොටුව
මෙම දැහැත් ගොටු පූජාව වස් ආරාධනා කිරීම සඳහා යොදාගනු ලබන පුරාණ චාරිත්‍රයකි.වර්තමානයේ මෙය සමාජයෙන් නැතිවී යන චාරිත්‍රයක් වී අවසන්ය.මෙම චාරිත්‍රය සිදුකළත් දැන් යම් යම් වෙනස් වීම් වලට ලක් වී පැරණි චාරිත්‍රය අනුව සිදු නොවේ.මෙම චාරිත්‍රයේදී මෙම දැහැත් වොටුව සාදන ආකරයේ පටන්ම වැදගත් වේ.දැහැත් ගොටුව සාදා ගැනීමේදී බුලත් කොළ කිහිපයක් ගෙන පොල් අරටු කැබලි මගින් එකින් එකට ගොටුවක ආකාරයෙන් අමුණනු ලබයි.මෙම ගොටුවේ යට කොටස පිරිසිදු සුදු රෙදි කැබැල්ලකින් ගොටුවේ හැඩයෙන්ම ආවරණය කළ යුතුයි.ඉන් පසු එම ගොටුව මල් වලින් පුරවා ගත යුතුයි.මෙය සාම්ප්‍රදායික දැහැත් ගොටුව සාදාගන්නා ආකාරයයි.(මේ සමඟ ඇති ජායාරූප බලන්න)
☸️ වැසි සලු පූජාව
භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේ දිනක් පිණ්ඩපාතයේ වැඩම කර වැස්සෙන් සිවුරු තෙත බරිත වී නැවත විහාරයට වඩිනා සංඝයා වහන්සේලා දැක විශාකා මහා උපාසිකාව තම දිවි ඇතිතෙක් සංඝයා වහන්සේලා උදෙසා වැසි සලු පූජා කිරීමට අවසරය භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.විශාකා මහා උපාසිකාව විසින් භාග්‍යවතුන් වහන්සේගේ අවසරය මත ආරම්භ කරන ලද මේ වැසි සලු පූජාව අද වන තුරුම සාම්ප්‍රදායිකව මහත් ගෞරවයෙන් කරනු ලබයි.අතීතයේ මෙම වැසි සලු පූජාව කටින පින්කමේ දායකත්ව පිරිස වගේම ගමේ සියලුම දෙනා සම්බන්ධ වීමෙන් සිදුකරනු ලැබූ අතර වර්තමානයේ කිහිපදෙනෙක් විතරක් සම්බන්ධ වී කරන පින්කමක් බවට පත් වී ඇත.ඒ වගේම ඒ හා බැඳුනු සිරිත් විරිත් ද බොහෝ වෙනස් වී ඇත.
වැසි සලුව යනුවෙන් අදහස් කරන්නේ නානකඩයට සමාන සිවුරකි.මෙය පිරිකර කඩයකින් මිලදීගෙන හෝ සම්ප්‍රදායික ලෙස පඬු පොවා සකසාගෙන වස් ආරාධනා දිනයේදී වස් සමාදන්වන එක් භික්ෂූන් වහන්සේ නමකට එක බැගින් පූජා කළ යුතුයි.(වැසි සලුවේ ජායාරූප පහතින් බලන්න)
☸️ වස් ආරාධනා කරන අවස්ථාවේ පූජා කරන පිරිකර
වස් ආරාධනය කරන අවස්ථාවේ දැහැත් ගොටුව හා වැසි සලුවට අමතරව වස් තුන් මාසයේදී සංඝයා වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පිරිකර පූජා කළ යුතුය.මෙම පිරිකර වස් ආරාධනා කරන අවස්ථාවට අමතරව වස් කාලය අතර තුරද කටින පින්කම අවස්ථාවේද පූජා කරනු ලබයි.වස් ආරාධනා කරන අවස්ථාවේ පහත සඳහන් පිරිකර පූජා කරනු ලබයි.මෙය එක් එක් පුද්ගලයාට හැකි අයුරින් පූජා කිරීම කරනු ලබයි.
☸️ පූජා භාන්ඩ:
ඉඳිකටු කාඩ් 01,
නූල් පන්දුව,
රේසර්,
බ්ලේඩ් තල පැකට්,
පැන්
පෙරහන්කඩ,
ඇඳ ඇතිරිල්ල,
තුවාය,
කොට්ටය,
කොට්ට උරය,
අත් ලේන්සුව,
ලොකු කුඩය,
පිඟාන,
කෝප්පය,
මදුරු දැල,
සෙරෙප්පු කුට්ටම්,
ලොකු පඩික්කම් 01,
ඉදල,
කොස්ස
මුහුණ සෝදන බේසම,
ප්ලාස්ටික් බාල්දිය,
දත් ඛෙහෙත්,
දත් බුරුසු,
සබන් පෙට්ටිය,
සබන් කැට,
රෙදි සෝදන කුඩු,
රෙදි පාපිස්ස,
රබර් පාපිස්ස,
විම් දියර සෝදන,
වැසිකිලි පිරිසිදුකාරක,
වැසිකිලි අමදින බුරුසුව,
සින්ක් අමදින බුරුසුව,
බඳුන් අමදින බුරුසු
ටෝච් 01,
පෙන් ටෝච් බැටරි,
ඉටිපන්දම් පැකට්,
ගිනි පෙට්ටි,
තේ පෙරනය,
අත් පිස්නා,
පිටු 80 සීආර් පොත් 01,
රතු පෑන් 01,
කළු පෑන් 01,
නිල් පෑන් 01,
ලොකු ලියුම් කවර 10,
පොඩි ලියුම් කවර 10,
මුද්දර 08,
බයින්ඩර් ගම් බෝතල් 01
කෝපි පැකට් 01,
තේ කොළ,
සීනි,
කිරි පිටි පැකට්
හඳුන්කූරු,
පහන් තිර,
පොල් තෙල්
ඛෙහෙත් ඖෂධ වට්ටිය:
අසමෝදගම්
සර්ජිකල් බෝතල්,
ඩෙටෝල් බෝතල්,
ඕඩිකොලෝන් බෝතල්,
මහා නාරායනය තෙල් කුප්පි 01,
සර්ව විෂාධි තෙල් කුප්පි 01,
සිද්ධාර්ථ තෙල් කුප්පි 01,
මී පැණි කුප්පි 01,
පස් පංගුව පැකට්,
අෂ්ඨ පාන පැකට්,
දස පංගුව පැකට්,
ඉනෝ පැකට්,
නිවාරන් 90 පැකට්,
සිද්ධාලේප,
සමහන් පැකට්,
ලක් පේයාව පැකට්,
ප්ලාස්ටර්,
පැනඩෝල් කාඩ්,
ග්ලුකෝස් පැකට්,
අයඩෙක්ස් හෙඩ් ෆාස්ට් බාම්,
වික්ස් වේපොරබ් බාම්,
ඇක්ස් ඔයිල්,
ගල් තැළුම් සුවය බාම්,
වයිටැල් ක්‍රීම්,
පුළුං පැකට්,
බැන්ඩේජ් රෝල්,
ප්ලාස්ටර් රෝල්,
දැහැත් පැකට්
වස් ආරාධනා කරන ආකාරය 🙏
භාග්‍යවතුන් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුම් දැහැත් ගිලන්පස පූජා කොට බුද්ධ වන්දනාව සිදුකරනු ලබයි.
ඉන්පසු සියලු දායකාරකාදීන් රැස් වී ඉහත කී සියලු පූජා ද්‍රව්‍ය සූදනම් කරගෙන ඇසළ පොහොය දිනයේදී විහාරස්ථානයේ හෝ ආරණ්‍ය සේනාසනයේ වස් සමාදන් වන උපසම්පදා භික්ෂූන් වහන්සේලා වෙත වස් ආරාධනා කිරීමට සූදානම් කළ ස්තානයට වඩින ලෙස ආරාධනා කරනු ලබයි.ඉන් පසු ආරාධනා දැහැත් වට්ටිය පූජා කොට වස් පින්කම ආරම්භ කිරීමට ආරාධනා කරනු ලබයි.
ඉන්පසු මහා සංඝරත්නය වස් ආරාධනාව සිදු කිරීමට කටින පින්කම සඳහා දායකත්වය දරන පුද්ගලයාට හෝ පිරිසට අවස්ථාව ලබාදේ.ඉන්පසු සංඝරත්නය ඉදිරියේ දණ නමා වැසි සලුව සහ දැහැත් ගොටුව අත් මත තබාගෙන පහත ආරාධනා වාක්‍යය කියා මහා සංඝරත්නයෙන් වස් වැසීමට ආරාධනා කරනු ලබයි.
වස් ආරාධනා වාක්‍යය ...🙏
ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි...
ස්වාමීන්වහන්ස
අප කෙරෙහි අනුකම්පාවෙන්
අපගේ මෙම ආරාධනය පිළිගෙන
අදින් ඇරඹෙන වස් තුන් මාසය පුරාවට
මෙම ස්ථානයේ වස් එළඹ
උතුම් ශාසන බ්‍රහ්මචර්‍යාව ආරක්ෂා කරමින්
අපටද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින්
වස් සමාදන්ව වැඩ වාසය කරන මෙන්
ඔබ වහන්සේලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු
ඒ සඳහා අපට හැකි පමණින්
ඔබ වහන්සේලාට සිව්පසයෙන් ඇප උපස්ථාන කිරීමට පොරොන්දු වෙමු
මෙම වාක්‍යය කියා දැහැත් ගොටුව හා වැසි සලුව පූජාකරමින් වස් ආරාධනාව සිදුකර පසුව සියලු දෙනා පිරිකර පූජා කරනු ලබයි.ඊට මහා සංඝරත්නය සියලු දෙනාට ආශිර්වාදකොට සෙත්පතා පින්කම නිමා කරනු ලබයි.
වස් ආරාධනාවෙන් පසු වස් මාස තුන තුළ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලාත් වැඩ වසන සියලු භික්ෂූන් වහන්සේලාත් වෙනුවෙන් සිව්පසයෙන් සංග්‍රහ කොට නිතර සොයා බැලීමට කටයුතු කළ යුතුය. වස් ආරාධනා කල දිනට පසු දින පටන්...
විහාරස්ථානයේ වැඩ වසන හිමිවරැන්ට උදෙට කැද හෝ කොළ කැද මෙන්ම සවස ඔසුපැන් ගිලන්පස ආදිය පූජා කර ගැනීමෙන් අප්‍රමාණ පින් රැස් කර ගත හැකිය.
එමෙන්ම විහාරස්ථානයේ විදුලි බිල්පත් ආදිය ගෙවා දැමීම මෙම කාලය තුළ සිදු කළ හැකි පින් රැස්වෙන පින්කමකි.
කඨින පින්කම සිදුවන දින දක්වාම මහා සංඝරත්නය පිළිබඳ සොයා බලා කටයුතු කිරීම ගිහි පිරිස සිදුකළයුතු අතර මෙම වස් කාලය මහත් කුසල් රැස්වන පුණ්‍ය කාලයකි.
තෙරුවන් සරණයි
-උපුටාගැනීම්කි-
( ඡායාරූප අයිතිය මුල් හිමිකරුවන් සතුය.)