12/01/2019
දරුවා පෙර පාසැල වෙත යොමු කිරීමේදී දෙමාපියන් දැනගත යුතු කරැණු
==============================================================
ජීවිතේ පුදුම තරම් වේගයෙන් ගෙවිලා යනවා කියල හිතෙන්නේ දන්නෙම නැතිව අපේ පුංචි පැටියා පෙර පාසල් යන වයසත් ඇවිත් නේද කියලා මතක් වුණාම.
දැන් ඉතින් අම්මලත් වෙනදට වඩා හරිම කාර්යබහුලයි.
පැටියගෙත් දින චරියාව වෙනස් වෙන්නේ වෙනදට වඩා
වේලපහම නැගිටලා,
පිරිසිදු වෙලා,
කෑම කාලා පෙරපාසලට යන්න සිද්ධ වෙන නිසා.
හැබැයි ඉතින් මේ කටයුත්තටම පැටියා හුරු කරන එක නම් යුද්ධයක් වගේ. අන්න ඒ නිසාම පෙර පාසලට පැටියා යවන මව්වරුන් මේ කාරණා ගැන සැලකිලිමත් වුනොත් එය පහසුවක් වේවි.
❣️දරුවාට සුව නින්දක් ලබා දෙන්න
=============================
දරුවන්ට නින්ද අත්යවශ්යම සාධකයක්. ඔවුන්ගේ ශරීරය වර්ධනය වීමට හා ඔවුන් ග්රහණය කරගන්නා දැනුම මොළය තුළ විධිමත්ව සකසා ගබඩා කරගැනීමටත් සුවදායක නින්දක් අත්යවශ්යමයි. පෙර පාසල් ගමන ඇරඹුමත් එක්කම පැටියට වෙනදට වඩා උදෙන් නැගිටින්න සිද්ධ වෙනවා. ඒනිසා දරුවගේ දෛනික කටයුතු ඉක්මනින් අවසන් කරලා අඩුම තරමින් දරුවට පැය 9 හෝ 11 ක නින්දක් ලබා දෙන්න.
❣️කලින් සූදානම් වන්න
=====================
කාලය හැමදේටම හරස් වෙනවනේ. උදේට ගෙදර එකම යුද්ධයක්. මේ යුද්ධයට විරාමයක් තියන්න කලින් දවසෙ රාත්රියේම පෙර පාසල් නිල ඇදුම්, සපත්තු මේස්, බෑග් සියල්ලම සූදානම් කරන්න. පෙර පාසලට යන්න පැයකටවත් පෙර දරුවව අවදි කරවගන්න.
❣️දරුවගෙ පෝෂණය ගැනත් හිතන්න
===================================
පෙර පාසල් යන ඔබේ දරුවාට පෙරට වඩා පෝෂණය අත්යවශ්යයි.
අධ්යාපන කටයුතු වගේම ක්රීඩා කටයුතුවලත් නිරත වන නිසා වැඩි ශක්තියක් වැය වෙනවා.
දරුවා අවදි කළ සැනින් කිරි වීදුරුවකින් බඩ පුරවා පෙර පාසලට ගෙන යන්න එපා. උදෑසන ආහාර වේල හරිම වැදගත්.
දීර්ඝ කාලයක් නිරාහාරව තිබෙන කුසට සමබල ආහාර වේලක් සැපයීම වැදගත්. උදෑසන ආහාරයට
බත්,
තම්බා ගත් ඇට වර්ග,
කිරි බත් වැනි දෑ දරුවාට ලබාදිය හැකිය.
දෙමාපියන්ගේ සතුට දරුවන්ගේ නිරෝගීකම හින්දම තෙල්, පිටි අධික කඩ කෑම වෙනුවට නිවසේ ඔබම පිළියෙල කරගත් ගුණයෙන් සපිරි රසවත් ආහාරයක් සකස් කර දෙන්න.
❣️දරුවගෙ පොත් බෑගය
====================
පෙර පාසල් දරුවන්ට නම් ගෙන යන්නට පොත් ගොඩක් නැහැ.
ගෙදර වැඩ පොත්,
පැන්සල්,
මකන,
පාට කූරු, පාට පැන්සල් තිබේදැයි කියා පෙර දිනම බලන්න.
✈✈✈මේ දේවල්වලට අමතරව දරුවාගේ බෑගයේ
අමතර ඇඳුම් කට්ටලයක්,
කුඩා තුවායක් නිතරම තබන්න.
දරුවාට යම් කරදරයක් සිදුවුවහොත් දැනුම් දිය යුතු ඔබගේ දුරකථන අංක ලියූ කුඩා සටහන් පොතක් දරුවාවද දැනුවත් කර දරුවගේ බෑගයේ තබන්න.
❣️දරුවගෙ කෑම පෙට්ටිය හා වතුර බෝතලය
=========================================
වෙළෙඳපොලේ නොයෙකුත් හැඩ වැඩ දැමූ කෑම පෙට්ටි වතුර බෝතල් ඇත. බොහෝ විට පෙර පාසලේදී දරුවාට තනිවම තම කටයුතු කර ගැනීමට සිදු වන නිසා ඔබේ දරුවාට තෝරා ගත යුත්තේ ඔවුන්ට පහසුවෙන් පාවිච්චි කළ හැකි කෑම පෙට්ටි හා වතුර බෝතල්ය. දිනපතාම කෑම පෙට්ටිය වගේම වතුර බෝතලයත් හොඳින් පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා. වතුර බෝතල්වල බටය අසල සෙවල බැඳීමට ලක් වන නිසා හොඳින් පරික්ෂා කර සෝදන්න. දරුවාට පහසුවෙන් කන්නට හැකි ලෙස ආහාර යවන්න.
උදාහරණයක් විදිහට✈✈✈✈👍
බත්, එළවළු, මාළු වෙන වෙනම දැමූ බත් එකක් යවනවාට වඩා සියල්ල එක් කර ෆයිඩ් රයිස් එකක් සකසා හැන්දක් සමග යැවීම, රොටි හෝ පාන් කුඩා කැබලි ලෙස කපා යැවීම වඩාත් සුදුසුයි. කෑම පෙට්ටියත් සමග යවන අත් පිස්නාව ගැනත් අම්මලාගේ අවධානය යොමු කරන්න.
ඒ වගේම එක් දිනක පාවිච්චි කළ අත් පිස්නාව ඊලඟ දිනයේ යවන්න එපා.
❣️සනීපාරක්ෂාව ගැනත් සිතන්න
==============================
චූටී පැටවු නිසා තම අවශ්යතාවයන් තනිවම කළමනාකරණය කරගන්න ටික දවසක් ගත වෙනවනෙ. හැකි නම් දරුවාව පෙර පාසලට යැවීමට පෙර වැසිකිලි යාමට පුරුදු කරවන්න. පැටියට කුඩා කල සිටම තනිවම වැසිකිලියට යාමට පුරුදු කරවීමෙන් පෙර පාසල් යන විට එය බෙහෙවින් ප්රයෝජනවත් වේවි. පැටියට කැස්සක් කිවිසුමක් ඇති වුනොත් ලේන්සුවක් පාවිච්චි කරන්නට හුරු කරන්න. අනෙක් වැදගත් කාරණය පැටියා අසනීප නම් පෙර පාසල නොයවා සිටින්න වග බලා ගැනීමයි. දරුවන් ඉක්මණින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. දරුවා බෝවන රෝගයකින් පෙලුනා නම් දරුවා හොඳට සුව වනතුරු නිවසේ තබා ගන්න. වැඩ අත පසු වෙනවා යැයි සිතමින් දරුවා පෙර පාසල් යැවීමෙන් ඔබේ දරුවා මෙන්ම අනෙක් දරුවන්ද අපහසුතාවයට පත්වේ. එක් අතකින් රෝගී දරුවා විවේකය නොලැබීමෙන් තවත් තෙහෙට්ටුවට පත් වන අතරම නිරෝගී අනෙක් දරුවන්ටද රෝගය බෝ විය හැකිය.
❣️ආරක්ෂාව ගැනත් සිතන්න
======================-===-=
අද සමාජය හරිම භයානකයි. මල් වගේ දරු පැටවු විනාශ කරන අමානුෂික සමාජයකයි අපි මේ ඉන්නෙ. ඒ නිසා පැටියට තමන්ගෙ ආරක්ෂාව ගැන කියලා දෙන්න. දරුවගෙ ශරීරය තමන්ටම පමණක් අයිති බවත් අනවශ්ය ලෙස දරුවා සිප ගැනීම ස්පර්ෂ කිරීම් ගැන සරලව පහදා දෙන්න. එවැනි අවස්ථාවක ප්රතික්ෂේප කරන්නටත් වැඩිහිටියන්ව දැනුවත් කරන්නත් එතැනින් ඉවත් වන්නත් දරුවාට කියා දෙන්න. පෙර පාසල අවසන් වන වේලාවටම දරුවා ගන්න. අම්මාගේ අනු දැනුමකින් තොරව කිසිදු කෙනෙක් සමග පෙර පාසලෙන් පිට නොවන ලෙසට දරුවාට කියන්න.
❣️දරුවා හා සංවාදයේ යෙදෙන්න
==============================
දරුවා පෙර පාසලෙන් පිටව එනවිට ඔවුන් සමග දවසේ තොරතුරු ගැන කතා කරන්න. දවස ගෙවූ හැටි, කළ දේවල් ගැන විමසන්න. පසු දිනට පෙරපාසලට ගෙන යාමට අවශ්ය දේවල් තිබේ නම් ඒවා අසා දැනගෙන එදිනම සූදානම් කරගන්න. දරුවාගේ හැසිරීම ගැනත් විපරම් කරන්න. දරුවා අසතුටින් සිටින්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. සමහර දරුවන් තවත් දරුවන්ට හිරි හැර කරන අවස්ථා එමටය. එනිසාවෙන් පෙර පාසල් ගමන දරුවාට නීරස විය හැකිය. ඇතැම් ගුරුවරුන් ද දරුවන්ගේ සිත් බෙහෙවින්ම රිදෙන ලෙස තරවටු කිරීම් නිසා දරුවා බියෙන් හා දුකෙන් සිටිනවා විය හැකිය. ඔබ කලින් ඒ පිළිබඳව දැනුවත්ව සිටීමෙන් ගත යුතු පියවර ගන්නට හැකියාවක් ලැබේවී.
ඉතින් මේ පුංචි කාරණා ගැන අම්මලගෙ අවධානය යොමු කළොත් දරුවව සතුටින් පෙර පාසල් යවන්න පිටුවහලක් වේවී.
දිශාන්ති වෙදගේ ලිපියකි ...
දෙමාපියන්ගේ දැනුම සදහා උපුටා ගන්නා ලද්දකි ...
ස්තුති
පි.එල්.කේ.වැලිවිට